2023 ජුලි 15 වන සෙනසුරාදා

ශිව දේවාලේ හැංගුණු බෞද්ධ පන්සල

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 265

පොළොන්නරුවේ චෝල පාලන කාලයේ සිහිවටනයක් ලෙස පවතින අංක 1 ශිව දේවාලයේ කැණීම් කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදුකළේ 2019 දී ය. එම කැණීම් කිරීමේදී අද දක්නට ලැබෙන කළුගල් ගොඩනැගිල්ලේ යටින් ගඩොලින් කළ ගොඩනැගිල්ලක් පැවති බවට සාධක මතුවිය. මෙය රන්කොත් වෙහෙරට වැටී ඇති මාර්ගයේ මැණික් වෙහෙර අසල පිහිටා තිබේ. එම නටබුන් අනුරාධපුර යුගයේ මැද භාගයට අයත් බෞද්ධ විහාරයක් බව එවකට අදහස් පළකෙරුණද ඒ ගැන පුළුල් අධ්‍යයනයක් සිදුවූ බවක් අපට මතක නැත.

පසුගියදා අප සමඟ අදහස් පළ කළ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සඳහන් කළේ පොළොන්නරුව ශිව දේවාලයේ සිදුකළ කැණීම්වලදී ඊට යටින් පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථානයක නටබුන් මතු වූ බවයි. ඇතැම් පුරාවිද්‍යාත්මක කැණීම්වල ප්‍රතිඵල ජනතාවගෙන් වසන් කරන තත්ත්වයන්ද මතුව ඇති බවද ඔහු සඳහන් කළේය. නමුත් මෙම කැණීම්වල ප්‍රතිඵල ජනතාවට අනාවරණ කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බවත් මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන බලපෑම් තිබෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු සඳහන් කරයි. එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද ශිව දේවාලය යටින් බෞද්ධ නටබුන් මතුවීම පුරාවිද්‍යාඥයන් පැවසූ බවට එකල පැවති ආගමික උත්සවයක කතාවකදී සඳහන් කළේය.

කෙසේ වුවත් මේ සිද්ධිය ගැන වැඩිපුර තොරතුරු රටට අනාවරණය වූයේ නැත. ඒ ආසන්නව පාස්කු ප්‍රහාරය නිසා රටේම අවධානය වෙනතකට යොමුවූ අතර කැණීම්වලට මොනවා වුණාදැයි අපි නොදනිමු. මේ දිනවල කුරුන්දි විහාර නටබුන් සහිත ඉඩම් නිදහස් කරන ලෙස  උතුරේ දේශපාලනඥයන් ඉල්ලීම් කරන අතර මේ නිසා මහාචාර්ය අනුර මනතුංගට පසුගියදා තම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පදවියෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවිය.

බෞද්ධ නටබුන්වල ශිව කෝවිල් ඉදිකිරීම අදත් උතුරු නැගෙනහිර සුලබව සිදුවන්නකි. ඉන්පසු ඔවුන් පවසන්නේ ඒවා පාරම්පරික නිජබිම් බවය. උතුරු හා නැගෙනහිර සාමාන්‍ය ජනතාව අතර පුරාවිද්‍යා උරුමය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගී නොමැති බවත්, ගැටලු ඇතිකරමින් සිටින්නේ එම පළාත්වල ඇතැම් දේශපාලනඥයන් බවත්  හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් පවසා සිටියේය. මේ ගැන තොරතුරු දැන ගැනීමට අපි ඔහු ඇමතුවෙමු. ''අංක 1 ශිව දේවාලය එවකට කැණීම් කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්. මේ නිසා මට නිශ්චිතවම තොරතුරු සපයන්න අසීරුයි. එහි කැණීම්වලදී බෞද්ධ නටබුන් හමුවූ බවට පැවසෙනවා. පුරාවිද්‍යා සංරක්ෂණයේ දී මූලධර්ම දෙකක් භාවිත කෙරෙනවා.  පළමුවැනි එක තමයි මුල්ම ස්මාරකය සංරක්ෂණය කර ජනතාවට දැකබලා ගැනීමට ඉදිරිපත් කිරීම. දෙවැනි මූලධර්මය තමයි දැනට පවතින ස්මාරකය සංරක්ෂණය කර ජනතාවට ඉදිරිපත් කිරීම. මේ ශිව දේවාලය පොළොන්නරුවේ චෝල බලපෑම හෙළිකරන වටිනා ස්මාරකයක්. මේ නිසා ශිව කෝවිල පුරාවිද්‍යා මූලධර්මවලට අනුව සංරක්ෂණය කළ යුතු බවට විවාදයක් නැහැ. නමුත් ඊට යටින් තිබෙන ස්මාරකය ගැනත් අධ්‍යයනයක් කිරීම අවශ්‍යයි. ඒ වගේ අධ්‍යයනයක් කෙරෙන්නෙ නැත්නම් එතන ගැටලුවක් තිබෙන බවයි කිවහැක්කේ.''

යුද්ධයෙන් පසුව  උතුරු හා නැගෙනහිර පළාත්වලට ගොස් පුරාවිද්‍යා ගවේෂණ සිදුකර එම පළාත්වල පුරාවිද්‍යා උරුමයන් සුරක්ෂිත කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරගත් බවත්, එම නටබුන් අතර තිබෙන කුරුන්දි විහාරය ඉතා වැදගත් බෞද්ධ පුරාවිද්‍යා උරුමයක් ලෙස අවධානය යොමුකරමින් එය සුරක්ෂිත කිරීමට පියවර ගත් බවද ආචාර්ය දිසානායක පැවසුවේය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ව සිටියදී ඔහුගේ උපදෙස් පරිදි සිදුකළ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ නිසා දෙමළ දේශපාලනඥයන්ගෙන් විවිධ බාධාකිරීම් එල්ල විය. මේ නිසා බොහෝ ස්මාරක සංරක්ෂණය කිරීම පවා ගැටලුවක් බවට පත්විය. 

පොළොන්නරුවේ අංක එක ශිව දේවාලය මුල් කාලයේ දළදා මැඳුර ලෙස වරදවා වටහා ගෙන තිබුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ශිව දේවාලයේ කළ මුල්ම පර් යේෂණ කැණීම සිදුවන්නේ එච්.සී.පී. බෙල් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි කාලයේය.  ඒ කැණීම වර්ෂ 1907 වසරේ සිදු කර තිබිණි.   අගනා හින්දු ලෝකඩ ප්‍රතිමා සමූහයක් එහිදී හමුවිය. එම ප්‍රතිමා කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

වර්ෂ 1979 දී ස්මාරකය සංරක්ෂණය කිරීමට අඩි දහයක් පමණ උසට තිබූ මණ්ඩපයේ බිත්තිවල සෙල්පුවරු ගලවා දැමුවද සංරක්ෂණ කටයුතු අතරමග නවතා දැමුණි. පසුව මෙම කළුගල් ගොඩනැගිල්ල  දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ අත්හැර දමා පැවති අතර සංරක්ෂණය සඳහා ගලවා දැමූ පෞරාණික ගල් කුට්ටි අතුරුදන් වෙමින් පැවතුණි. වර්ෂ 2017දී මෝසම් වැසි සමයේ ගොඩනැගිල්ලේ උතුරු බිත්තියෙහි ගල් පුවරු කීපයක් කඩා වැටුණි. බිත්තිය සවිමත් කිරීමට තනා තිබූ  මුක්කු ගැලවී ගියේය. ශිව දේවාලය සංරක්ෂණය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2019දී ආරම්භ කළේ එවන් පසුබිමක් යටතේය.

මෙහි ගර්භගෘහයේ සහ අන්තරාලයේ පිටත බිත්තිවල කළුගලින් කළ කුඩා කුටිර තිබිණි. ඒවා තුළ සෙල්මුවා දේව රූප තැන්පත් කළ බවට සාධක සහිත නටබුන් පිළිම කොටස් විය. එසේම ගර්භගෘහයේ බිත්තිවල කුලුනු හැඩැති කළුගලින් නිර්මිත කැටයම් කළ කොටස් පැවතිණි. කුලුනු අතරද විවිධ රූප කැටයම් විය. සිත් ගන්නා සුලු කැටයම වූයේ අගස්ති සෘෂිවරයාගේ යැයි පැවසෙන කැටයමය. එය පොත්ගුල් වෙහෙර අසල පිහිටි පැරකුම්බාවන්ගේ පිළිමයට බෙහෙවින්ම සමාන බව පෙනුණු හෙයිනි.

ගර්භ ගෘහයට යාව ඇති අන්තරාලය අසල කැණීම් කිරීමේදී මතුවන්නේ දේවාලය කැනීමට පෙර තිබූ ගඩොලින් කළ පුරාණ ගොඩනැගිල්ලක අවශේෂය. අන්තරාලයේ බිත්තිවලට සමාන්තරව තිබුණු එම බිත්ති වටකොට ශිව දේවාලයේ කළුගල් බිත්ති තනා තිබුණි. ගඩොල් බිත්ති සුදු පැහැති හුණු පිරියම්කොට පැවති ඒවා බව හෙළිවිය.   දේවාලය තැනිමේදී බිත්තිය මට්ටම් කර ගඩොල් අතුරා ඒ මත කළුගල් පුවරු ආස්තරණය කර ශිව ලිංගය පිහිටුවා තිබිණි.

දේවාලයේ යටින් මතු වන මේ පුරාණ ගඩොල් බිත්තිය කුමක් දැයි එකල විවිධ අදහස් මතුවිය. පොදු පිළිගැනීම වූයේ මේ බෞද්ධ ආරාමික නටබුන් විය හැකි බවයි.  පොෙළාන්නරුවේ  ගඩොලින් කළ හින්දු දේවාල හමුවූ බවට සාධක නැති නිසා මෙය බෞද්ධ විහාරයකට අයත් ගොඩනැගිල්ලක් බවට මත පළ විය. සමහරු පවසන්නේ දේවාලය ගඩොල් හා කළුගල් මාධ්‍යය දෙකම භාවිත කර ඉදිකළ ඉදිකිරීමක් විය හැකි බවයි. කෙසේ වුවත් ඒ ගැන වැඩි විස්තර අප නොදන්නේ එම මතය සනාථ කිරීමට හෝ නිෂ්ප්‍රභ කිරිමට පුළුල් ගවේෂණයක් සිදු නොවූ නිසාය.

අනුරාධපුර රාජධානිය ඉතිහාසයට එක් කරමින් ලංකාව චෝළ යටත් රාජධානියක් බවට පත්වන්නේ ක්‍රි.ව.1017දීය. අනුරාධපුරයේ අවසන් රජවන පස්වන මහින්ද රජු  ජීවග්‍රහයෙන් අල්ලාගත් පසුවය. අනුරාධපුරය ක්‍රි.ව. 1070 තෙක් රට චෝළයන්ගේ යටත් රාජධානියක්ව පැවතිණි. ඔවුහු පොළොන්නරුව ජනනාථමංගලම් හෙවත් ජනනාථ පුරම් ලෙස හැඳින්වූහ.

මේ වකවානුවේ චෝළ අධිරාජ්‍යයේ බලය පෙන්නුම් කරමින් ලංකාවේ සිටි චෝළ ප්‍රතිරාජවරු කළුගලින් සහ ගඩොලින්ද හින්දු දේවාල ඉදිකළහ. පොලොන්නරුවේ ශිව දේවාල තුනක් තනා ඇත්තේ මේ කාලයේය. මේ අතරින් හොඳ තත්ත්වයේ පවතින්නේ අංක දෙක ශිව දේවාලය වන අතර අංක එක දරන සිව දේවාලය නටබුන්ව ඇත්තේ නිසි සංරක්ෂණයක් නොමැති වීම නිසාය. අංක තුන ශිව දේවාලය නටබුන් වී ගොස් අද ඉතිරිව ඇත්තේ ශිව ලිංගය පමණි. වර්ෂ 1070දී සොළීන් පළවාහැර අනුරාධපුරයේදී රාජ්‍ය අභිෂේක ලබන මහා විජයබාහු රජු පොළොන්නරුවට පැමිණ එය අගනුවර කර ගැනීමෙන් පොළොන්නරුවේ සිංහල රාජවංශය යළි ආරම්භ විය.

I කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව I අන්තර්ජාලයෙන්